Thursday 19 June 2014

සුදුවන ලෝකය කළුවරට නොඅදින්න...!


මට පෙනෙන විදිහ 

වසර දහසකට පෙර ඔවුහු 
ගම් නියම් ගම්, මහා දැනුම් සම්භාර ගිනිබත් කරමින්, දහස් ගණන් කෘර ලෙස ඝාතනය කරමින් දික් විජය තම අරමුණ කරගත්තෝය 

වසර විස්සකට පෙර ඔවුහු 
සිය මුතුන් මිත්තන්ගේ කෘර ක්‍රියා ගැන උදම් අනමින් ආගමේ නාමයෙන් කෙරෙන ම්ලේච්ඡත්වය අගය කළහ.

අද ඔවුහු 
තම රුදුරු අතීතය සඟවන්නත්, ආගමික පොතපතේ සුළුවට ඇති කරුණා දයාව උළුප්පන්නටත්, තවමත් ශිෂ්ඨාචාරයට ප්‍රවිෂ්ට නොවූ සඟයන්ගේ සැහැසි ක්‍රියා පිළිබඳව මුනිවත රකින්නත් උත්සුක වෙයි 

හෙට ඔවුන් 
තම අතීත ක්‍රියා සහ නුතනයේ සුළුතරයක් ආගමේ නාමයෙන් කරන අපරාධ හෙලා දකින්නත්, දැහැමි සමාජයක් ගොඩනගන්නත් උත්සුක වනු ඇත..... 

මා දකින්නේ මෙයම ලොව ලැබූ විශාල විජයග්‍රහණයක් ලෙසටයි. මේ වෙනසට පාදක වන්නේ ඉහත සමාජයට පරිබාහිරව ලෝකයේ ඇතිවූ සංකල්පමය වෙනසයි. ශිෂ්ඨ ලෝකයක අශිෂ්ඨව සිටීමත් අශිෂ්ඨ ලෝකයක ශිෂ්ඨව සිටීමත් උගහටය.

දැහැමි වන සමාජයකට, ඔවුන් යටපත් කරන්න තතනන දැහැමි නොවන අතීතය සහ පොත පතේ ඇති ශිෂ්ඨත්වයට නොගැලපෙන ඉගැන්වීම් නැවත නැවත මතක් කරදීමෙන් සහ ඔවුන්ට තාඩන පීඩන කිරීමෙන් සිදුවන්නේ කුමක්ද?

දැහැමි මාවතකට යොමුවීම පිළිබඳව ඔවුන් කනගාටු වීම නොවේද?

සුදුවන ලෝකය කළුවරට නොඅදින්න...!


***********************

මට ඉහත කෙටි සඳහන ලිවීමට සිත් වුයේ මා කියවූ පහත දැක්වෙන දෙබස දැකීමෙනි (සුළු වෙනස්කම් කිහිපයක් කලද වාග් විලාශය සහ අන්තර්ගතයට කිසිඳු අඩු වැඩියක් නොකලෙමි)

එක්ස්: අපේ ආගම ලෝකේ තියෙන සමකාමිම ආගමක්. අපිට කියල තියෙනවා වෙනත් ආගම් වලටත් ගරු කරන්න කියල.

වයි: පල පරයෝ යන්න බොරු නොකියා. තොපේ ආගමේ පැහැදිලිවම ලියල තියනවා තොපිලගේ දෙවියෝ අදහන්නැති අයව මරලදාන්න කියල. අනෙත් එවුන් තොපේ ආගමට හැරෙනකන් හිත් වලට ත්‍රස්තය ඇතුළු කරන්න කියල. 

එක්ස්: බොරු කියන්න එපා හලෝ. කොහෙද එහෙම කියල තියෙන්නේ?

වයි: බලපන් කාලකන්ණියෝ තොගේ ඇස් ගෙඩි දෙක ඇරලා. තොපේ මහා ලොකු පොතේ ...... කොටසේ ....... පරිච්චේදයේ ....... (ඔහු ඉලක්කම් වගයක් ලියා ඇත)

මේ දෙදෙනාගේ දෙබස මෙතනින් අවසන් වේ. 

මෙහි වයි සඳහන් කරන පාඨයේ ඇත්ත නැත්ත දැනගැනීමට මට කිසිඳු අවශ්‍යතාවයක් නැත. මෙහිදී වැදගත් වන්නේ එක්ස් ගේ උවමනාවයි. 

මෙහිදී වයි බලාපොරොත්තු වන්නේ කුමක්ද...?  පිළිතුර ඔබම විග්‍රහ කර බලන්න.....

මා සිතට වැඩිම වේදනාවක් ගෙන දෙන්නේ මෙහි ඇති වයි ගේ වාග් විලාශයයි. එය කාගේ විලාසිතාව දැයි ඔබ හඳුනයි. මට මතක් වන්නේ වසර තිහකට  පමණ පෙර මයිකල් ජැක්සන් ගේ සඳ ගමන අනුකරණය කරන්න දහිරිය දැමු මෝඩ අතීතයයි. වීරයා අනුකරණය කිරීම කවදත් තරුණ පරපුරට උරුමය.

ඉතා මෑත අතීතයේදී "ටටා චෙරියෝ බායි" වෙනුවට "බුදු සරණයි" කියන්න සෝම හිමිපාණන් හුරු කල ඒ තරුණ පෙළමද මේ කියා මට පිළිතුරු නැති පැනයක් මතුවේ......



* * *



1 comment:

  1. තරහ වෙන්න එපා කිව්වාට ඔය වයි ඇවිල්ලා වයි පාටියෙක්.

    ReplyDelete