Wednesday 24 December 2014

Why should he be defeated?



ඔහු පැරදිය යුත්තේ ඇයි ? 

විධායකයේ විධානය

මට මතක් වන්නේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ අවසන් වසර කිහිපයයි. ජේ ආර් පාලන තන්ත්‍රය විසින්ම ආරම්භ කල 83 කෝලාහල වල පව් යැවුනේ සමාජවාදී පක්ෂවල කරපිටිනි. පොලිසිය හිතුමතේ මහජනතාවට, විශේෂයෙන්ම සරසවි සිසුන්ට සිය මර්ධන හස්තය දිගු කරන්න විය. ආණ්ඩුවට අවාසි වන ලෙස තීන්දු දෙන උසාවි විනිසුරුවන්ට හූ තබමින් විප්‍රකාර කරන මැරයන් බිහිවිය. තරු හතේ සුපිරි පන්තියක් රටේ සම්පත් කොල්ල කන ගමන් මහජනතාවට විසුළු කරන තත්වයක් ඇතිවිය. රටේ මෙගා ව්‍යාපෘති මෙහෙයවුවෝ ඕස්ට්‍රේලියාවෙන් ඇපල් වතු මිලදී ගැනීමට සමත් විය.

නීතියට පවා හිස නොනමන විධායක ජනාධිපති ධුරයක අරුම එහෙමය.

වසර තිහකට පසු මා දකින්නේ දස ගුණයකින් ඉහළ ගිය ඒ අරුමයේම කූඨ ප්‍රාප්තිය යැයි මට සිතේ. අද විනිසුරුවන්ට හූ කියන්නේ නැත. මන්ද පත් කර ඇති  සියළු විනිසුරුවන් එහෙයියන් වන බැවිනි. එක තීන්දුවක් රජයට අවාසි වුවොහොත් විනිසුරුවා ගෙදරය. ඒ තීන්දුව දුන්නේ අගවිනිසුරු වුවද ඔහුට හෝ ඇයට සමාවක් නැත. ගෙදර එලවන්නේ අක්‍රෝෂ පරිභවද සහිතවය. ප්‍රංශයේ රැජිණක් කුසගින්නේ කෑගසන මිනිසුන්ට පාන් නැත්නම් කේක් කාපං කීවාය. අද එය “වතුර නැත්නම් වෙඩි කාපන්” ලෙස වෙනස්විය යුතුය. එළිවන රහස් මකා දැමීම පිණිස කලෙක ආණ්ඩුවට සේවය කල මැරයෝ සහ පාතාලයෝ එක් අවස්ථාවක මෙලොවින් නික්ම යා යුතුය. ඒ සඳහා පොලිසියට ඕනෑම වාර ගණනක් රඟ පෑ හැකි තිර නාටකයක් ලබා දී ඇත. ඒ "ආයුධ පෙන්නන්න යෑමේ නාටකයයි". උපතිස්ස ගමනායකගෙන් ඇරඹුන මෙම නාටකය අද ජනතාවටද කිසිඳු ප්‍රවෘතියක් නොවන තරම් සාමාන්‍ය සිද්ධියක් වී ඇත. පොලියට ගන්නා ණය බරින් රටම මිරිකෙද්දී දේශපාලුවගේ කුට්ටිය රුපියල් කෝටි ගණන් වල සිට ඩොලර් කෝටි ගණනක් දක්වා වර්ධනය වී ඇත.

විධායක ජනපති ක්‍රමය අපව රැගෙන යන්නේ කොතැනටදැයි ඇස් හැර බලන්න.

මහින්ද රාජපක්ෂ යනු මේ විධායක බල යන්ත්‍රය මගින් DNA විකෘතියකට භාජනය කල එක් අවාසනාවන්ත චරිතයක් පමණි. විනාශ කල යුත්තේ ඒ කළු පැහැ වූ අළු පැහැ මනුෂ්‍යයාව නොවේ. එම විකෘති සාදන යන්ත්‍රයයි.

විධායකය මනරම්ද?

යුද්ධයක් දිනන්න විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද?

වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයට කරදී ජයග්‍රහණය කලේය. ඉන්දියාව, අවට රටවල් සමග කිහිපවිටක් යුධ වැදිණි. ෂික් අන්තවාදීන්, කාශ්මීර බෙදුම්වාදීන්, නැක්සලයිට්වදීන් ආදී ත්‍රස්තවාදී සංවිධාන රාශියක් සමග නිරන්තර ගැටී ඔවුන් යටපත් කර දමා ඇත. සිරිමාවෝ රජය 71 කැරැල්ලට සාර්ථකව මුහුණ දුන්නාය. මේ කිසි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමයක් තිබුනේ නැත.

විධායක ජනපති ක්‍රමයද දායක වෙමින් ඉහලට එසවුණු කොටි ත්‍රස්තවාදය මර්ධනය කිරීමට, විධායක ජනාධිපති ක්‍රමය තිබියදීත්, දසක දෙකක් ඉක්ම යන තුරු නොහැකිවිය.

දරුණු පිළිකාවක් වූ පාතාලයේ නැගී ඒම නැවතීමට හෝ, රටම විනාශ කර දමන වසංගතයක් වූ මත් ද්‍රව්‍ය උවදුර මැඩලීමට හෝ අසීමිත දුෂණය සීමා කිරීමට විධායක ජනපති ක්‍රමය අසමත්විය. ඇත්තෙන්ම ඒ සියළු ව්‍යසනයන් රටේ වර්ධනය වුයේ විධායක ජනාධිපති ධුරයේ ආරම්භයෙන් පසුවය.

විධායක ජනාධිපති ක්‍රමයට පෙර හා පසුව රටේ පැවතී හා පවතින තත්ව අතර විශාල පරතරයක් ඇත.

සුළු උදාහරණයක් මම මේ සඳහා ඉදිරිපත් කරමි. විධායක ජනාධිපති ක්‍රමයට පාර කැපූ 77 චන්දය පැවති සමයේ මා කුඩා කොලු ගැටයෙකි. මට තවමත් හොඳින් මතක ඇති ආකාරයට එදා පැවතී සිරිමා රජයට එරෙහිව එල්ලවුණු බලවත්ම දුෂණ චෝදනාවක් වුයේ, එවකට ප්‍රබල ඇමතිවරයෙකුව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තම පෞද්ගලික කුකුළු ගොවිපොලකට රජයේ කිරිපිටි තොගයක් සත්‍ව ආහාර ලෙස ලබා දීමයි. විධායක ජනපති ක්‍රමයට පින්සිදු වන්න අද වන විට මෙවැනි දුෂණ හාස්‍යජනක තත්වයකට ඇද වැටී ඇත.

කළු සහ සුදු බව නොදකින දෑස්

ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු තුල පවතින දුර්වලතාවයක් නම් ලෝකය කළු හෝ සුදු ලෙස පෙනීමයි. හොඳ දේ සහ නරක දේ එකම පුද්ගලයෙක් හෝ ආයතනයක් තුල තිබෙන බව දකින්නට බොහෝ දෙනා මැලිවෙති. ලංකාවේ හොඳ පාලකයන් හෝ නරක පාලකයන් කියා වර්ග කල හැකි දෙකොටසක් සිටි බවක් මට නම් නොපෙනේ. රට පාලනය කල සියලු දෙනා තුලින් යම් යම් යහ කාර්යයන් සිදුවී ඇත. නො එසේ නම් වසර 30 ක යුද්ධයකුත් ඇදගෙන පැමිණි අප මේ වන විට අසල්වාසීන් වන පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය හා බොහෝ අප්‍රිකානු රාජ්‍යයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේ නැත. එසේම එම පාලකයන් අතින් යම් යම් අයහපත් ක්‍රියාද සිදුවී ඇත. නො එසේ නම් අප මේ වන විට සිංගප්පුරුව, මැලේසියාව, තායිවානය වැනි තැනකවත් සිටිය යුතුය.

එසේම "කළගුණ සැළකීම" යන යෙදුමද අප ලංකාවේ කාලගුණය සේම ව්‍යාකුල කරගෙන ඇති සේයකි. අපගේ නිවස ඉතා අලංකාර සහ ශක්තිමත් ලෙස කදිමට නිම කර දුන් මේසන් බසුන්නැහේට කළගුණ සැළකීම සඳහා අප ඔහුට ගෙදර කෑම පිසීමත්, දරුවන් රැකබලා ගැනීමත්, මුදල් පාලනය කිරීමත්, ලෙඩට දුකට බෙහෙත් නියම කිරීමත් පවරන්නේ නැත.

ඔබ මැතිවරණයකදී චන්දය භාවිතා කලයුත්තේ මේ පිළිබඳව සිතා බලාය.

මහින්ද සංවර්ධනය

හම්බන්තොට වරාය මා ඉතා අගය කරන සංඛල්පයකි. එහෙත් එබඳු මෙගා ව්‍යාපෘතියකදී අනුගමනය කලයුතු බොහෝ වාණිජමය සහ තාක්‍ෂණික උපාය මාර්ගයන් රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව අතපසු කළේය. වරායක් තැනීමේදී ඉතා මුලික අංගයක් වන ගැඹුර පිලිබඳ ශක්‍යතා ඇගයීමක් කර තිබුනේ නැත. නොඑසේ නම් වරාය ජලයෙන් පුරවා මාස කිහිපයක් යනතෙක් රජයේ ඇමතිවරු විශාල නැව් වරාය තුලට ගැනීම සඳහා මුවදොර පතුලේ ඇති ගල් පරය ඉවත්කළ යුතුයැයි පිලි නොගෙන සිටින්නේ නැත. ඉන් පසු යම් යම් හාස්‍යජනක හේතු දක්වමින් ඩොලර් මිලියන 48 ක වියදමින් එය ඉවත් කරන ලදී.

අදටත් මෙම වරායේ ඇත්තේ ඇස් බැන්දුමකි. කොළඹ වරායෙන් ගොඩබා රජයට විශාල ලාබ ලැබීමට තිබු වාහන නැව් හම්බන්තොට වරායට බලහත්කාරයෙන් හරවා යැවේ. එහිදී ඉතා අඩු මුදලකට හෝ නොමිළේ සියලු පහසුකම් නැව්වලට සැපයේ. වරායෙන් ගොඩබාන පටවන වාහන ගැන කයිවාරු ගැසුවත්, ලැබෙන ආදායම, කොළඹ වරායට අහිමිවන ආදායම හා වරාය නඩත්තුවට යන වියදම පිළිබඳව රජය මුනිවත රකී. කළයුතුව තිබුණේ සිදුවූ අතපසුවීම් නිහතමානිව පිළිගෙන මෙතැන් සිට කල හැකි පිළියම් පිළිබඳව සොයා බැලීමයි.

නොරොච්චෝලේ තාප බලාගාරයද එලෙසම සැලසුම් කල අගනා ව්‍යාපෘතියකි. එහෙත් එය ආරම්භ වී දෙවසරක් තුල  30 වතාවකට ආසන්න වාර ගණනක් අකර්මණ්‍ය විය. ඒ පිළිබඳව නිසි ඇගයීමක් නොකර රජය ඊළඟ අදියර වලටද ගියේය. මෙහි ප්‍රතිඵල ඔබට තව නොබෝ දිනකින් ඇසීමට හැකිවනු ඇත. මේ ගැන මත පළකරන මගේ මිතුරෙක් රජයේ වෙබ් පිටුවල පළවන විස්තරවලින් මගේ වතපොතේ කොමෙන්ටු වපුරයි. එහෙත් ඔහු මෙන්ම රටේ බොහෝ දෙනෙක් නොදන්නා ඇතුළත විස්තර, විද්‍යුත් ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන මට දැනගන්න ලැබේ. මෙය එක අතකින් මගේ අවාසනාව යයි මම සිතමි. නොදැනීම සමහර විට භාග්‍යයකි.

කොළඹ නගරය දැන් සුන්දරය. රටේ අධිවේගී මාර්ග කිහිපයක් ඇත. මේවා අගය කල යුතුය. එහෙත් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය දකින විට ඇඟ කිළිපොලා යයි. මේ රජය සිටින්නේ මහජනතාවගේ සිතිවිළි පරම්පරාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ගමේ සෝමවතිට හෝ කඩේ සිරිපාලට පෙනෙන්නේ ඇස් කඩාගෙන යන නෙලුම් පොකුණු සහ වතුර මල් පමණක් බව රජය දනී. ඒ වෙනුවෙන් තම දූ දරුවන්ගේ පමණක් නොව පරම්පරා ගණනාවක අනාගතයද උකස් කර ඇති බව සඳහන්ව ඇත්තේ භාණ්ඩාගාරයේ කොළ පත්‍ර වලය. ඒවා ගැන දැනීමක් නැතිවම සෝමාවතී සහ සිරිපාල මිය යනු ඇත. ඒ ගැන කාටත් වඩා දන්නේ රටේ පාලකයාය. රටේ මිනිසුන්ට දුක දැනෙන විට පාලකයාගේ පරම්පරා ගනනාවකට වස්තුව රැස්වී ඇත. එවිට ඔවුන්ට මේ රට තිබුනත් නැතත් කම් නැත. 

මා දකින ආකාරයට මේ රටේ ජනතාවට සැබෑ සහන ලබාදී කරදරයක් නැතුවම මැතිවරණ දිනීමට රජයට කළ යුතුව තිබුණේ ඉතා පහසු කටයුත්තකි. එනම් මිහින් ලංකා, ශ්‍රී ලන්කන්, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ආදී මෙගා ප්‍රොජෙක්ට් කිසිවක් නොකර සිටීමයි. එසේ නම් රටට ප්‍රකෝටි ගණනක ආදායමක් ලැබුනා සේය. එහෙත් වෙනස නම් එවිට දේශපාලුවාගේ සාක්කු පිරෙන්නේ නැති වීමයි. 

අද අපි කොතැනද?

විධායකය තම අලංකාර සළු පිළි එකින් එක ගලවන්න වූයේ ජයවර්ධන සමයේ සිටමය. මේ වන විට එය පුර්ණ නිරුවතට ආසන්න වී ඇත.

මුලදී අකටයුතු කම් කෙරෙන්නේ සැඟවී ගෙනය. ඉන්පසු එළිපිට කල අයුතුකම් සැඟවීමට තැත් කරයි. ඊළඟට පැමිණෙන්නේ අකටයුතුකම් සාධාරණීකරණය කරන යුගයයි. අවසානයේ එළබෙන්නේ අකටයුතු කම් සිදුකර එයට එරෙහි වන්නන් මර්ධනය කරන යුගයි.

ඒකාධිපති වියරුවේ ස්වභාවය එයයි.

අපි අද සිටින්නේ මේ අවසාන යුගයේ එළිපත්තේය.

හිටපු හමුදාපතිවරයා හිරභාරයට පත්කළේ දේශපාලන පළිගැනීමකට බව කුඩා දරුවෙකුට වුවත් තේරෙන සත්‍යයකි. එහෙත් මිනිසුන් නිහඬව සිටියේය. අගවිනිසුරුවරිය ඉවත්කලේ රජයට එරෙහිව තීන්දුවක් දුන් පසුවය. මිනිසුන් නිහඬව සිටියේය. තම අයිතීන් ඉල්ලා හඬ නැගූ මිනිසුන් මරාදමා එය ජවිපෙ ක්‍රියාකාරකම්වලට බැර කළේය. මිනිසුන් නිහඬව සිටියේය. එතනෝල් සහ මත්ද්‍රව්‍ය කන්ටේනර් පිටින් හසුවන විට, ඒවාට රජයේ මැති ඇමතිවරු සම්බන්ධ බව හෙළිවන විට රජය නිහඬව සිටියේය. මිනිසුන්ද නිහඬව සිටියේය. චන්දයක් පවතින නිසා නොවේ නම් සිසුන්ට සලකන හැටි දනී යැයි ඇමතිවරයෙක් වහසිබස් දෙඩීය. මිනිසුන් නිහඬව සිටියේය.

අද ප්‍රථම වරට මැතිවරණයක් පවතින අවස්ථාවක සරසවි සිසුන්ට එලව එළවා පහර දුන්නේය. චන්ද අයිතිය ඉල්ලා සාමකාමිව උද්ඝෝෂණ කල ගැමියන් පිරිසකට නිරුවත් කර පහර දෙමින් ඇදගෙන ගියේය. මිනිසුන් නිහඬව තමාට චන්දය දෙතැයි රජය සිතයි.

මහින්ද දිනුවොත්........ හෙට..................!!!!!

සිරිසේන කරයිද?

මා මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලනය පිළිබඳව දන්නේ නැත. මන්ද ඔහු රටේ ප්‍රබල ඇමති ධුරයක් හෝ දරා සිට නැති බැවිනි. නමුත් ඔහුගේ දිනුම තුල රටේ යම් හෝ බලාපොරොත්තුවක් ඇත.

සිරිසේන දිනුවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහෙත් ඔහුගේ සම්ප්‍රාප්තියේ මූළික සාධකය වුයේ විධායකය අහෝසිකිරිම බැවින් ඔහුට ඉන් මිදීම අසීරුය. මහින්ද දිනුවහොත් විධායකය එසේම පවතිනු නොඅනුමානය. මක්නිසාද යත් ඔහුට එය කිරීමට අවශ්‍ය නම් ඊට කිසිඳු අවහිරයක් නොතිබුන බැවිනි.

සිරිසේන දිනුවොත් රට සැබෑ සංවර්ධනයකට යනු හෝ නොයනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් මේ පොලියට ණය-ණය පියවන්න පොලියට ණය සංවර්ධනය තව බොහෝ කලක් පවතිනු ඇත. මක්නිසාද යත් එය වෙනස් කිරීමට වුවමනා නම් ඔහුට ඒ සඳහා තව වසර දෙකක් කිසිඳු බාධාවකින් තොරව පැවතුන බැවිනි.

සිරිසේන දිනුවොත් රටේ භිෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය දිගටම පවතිනු ඇත. මක්නිසාද යත් චන්දය සමයේ වත් එය නතර වී නොමැති බැවිනි.

සිරිසේන දිනුවොත් දූෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය තවත් දෙගුණ තෙගුණ වනු ඇත. මක්නිසාද යත් පසුගිය වසර කීපයේදී දුෂණයේ ශීඝ්‍රතාවය අතිධාවනකාරී ගමනකට ප්‍රවිෂ්ඨ වී තිබීමයි.

අවසානය

මා දකිනා ආකාරයට මහින්ද රාජපක්ෂ යන චරිතය වේදිකාව මත ඉතා සාර්ථකව වීරයාගේ චරිතය රඟදැක්වීය. ඉන් පසු ඔහු ප්‍රේක්ෂක අත්පොළසන් වර්ෂාවක් මැද නික්ම යා යුතුව තිබුණි. අවාසනාවකට මෙන් ඔහු නාටකය අවසාන වූ පසුවත් බලහත්කාරයෙන්ම දුෂ්ඨයාගේ සිට විකටයා දක්වා සියලු චරිත රඟපෑමට පටන් ගත්තේය. දැන් හොරු සමග හෙළුවෙන් පසු කර ඒකා-අධිපති හරහා ධවල භීෂණ යුගයකට පැමිණ ඇත.

සියළු දෙනා වෙනුවෙන්...............සියළු දෙනා එකතුවී...........විරාමයක් තැබිය යුතු කාලය එළඹ ඇත !!!!!


12 comments:

  1. වටේ ඉන්න පොරාවල් ටික සහ අර අම්මණ්ඩි නැත්නම් සිරිසේන උන්නැහේගේ ලොකු වැරද්දක් නැහැ. සිරිසේන උන්නැහේ කියන්නෙත් හොඳ වැඩ සහා දුෂණය තියන ආපේ කොමන් දේශපලන සාම්පලයක්. සිරිසේන චන්දෙ ඉල්ලන්න ආවේ රටට ආදරේට නොවේ. සිරිසේන ඔය තැනට ඇද්ද පොරවල් වල ක්‍රියාව මහින්ද සිටිනවාට වාඩා රටට අහිතකරයි

    ReplyDelete
    Replies
    1. නිකන් මහින්ද මිනිස්සු රවට්ටන්න පාවිච්චි කරන විදියේ කතා නොකියා, ඇයි මහින්ද මයිත්‍රිපාලට වඩා හොඳ කියල පැහැදිලි කරොත් නරකද?

      Delete
    2. ගිනි අරන් පිච්චෙන ගේ ඇතුලේ ඉන්න මිනිහට එලියට පැනපන් කිව්වම එළියේ හුළඟ වැඩී, මට පීනසේ කිව්වලු

      Delete
  2. සර් ගේ ආර්ටිකල් එකෙන් මට තේරෙන විදියට රටට දෙන පණිවිඩය තමයි බලාපොරොත්තුවට ඉඩ දෙන්න කියන එක. මහින්ද මහත්තයා යුද්දෙට දීපු දායකත්වය අගය කරන්න ඕනේ. එත් 30 අවුරුද්දක යුද්දෙත් එක්ක සර් කියන විදියටම අනෙක් රටවල් ගොඩකට වඩා හොඳට ඇදගෙන ආපු ලංකාව යුද්දෙන් පස්සේ රිවර්ස් ගියර් එකේ යන එක ඇත්තටම අපේ අවාසනාව.

    රටේ හැමෝටම තේරෙන්න ඕනේ දෙයක් තමයි, මේ ක්‍රමය පැවතුනොත් තව අවුරුදු දෙකක් යන කොට අපිට ලංකාවට පය ගහන්න බය හිතෙන යුගයක් එනවා කියන එක. අපි ඒක නවත්තමු. සිරිසේන මහත්තයා සහ UNP එක හරියට කිව්වා දේ නොකලොත් මහා මැතිවරණයේදී අපි නැවතත් මේ රජය බලයට ගෙන එමු.

    රට වෙනුවෙන් ඒ වගේම මහින්ද වෙනුවෙන් අපි මෛත්‍රී මැති තුමාට චන්දෙ දෙමු

    ReplyDelete
  3. oon dan kiwwa widiyata deelaa my3wa genaawa..
    dan kohomada..
    pasu wiparamak karamu
    eyata kalayay me..

    ReplyDelete
  4. අද 04.04.2016 අද රටේ තත්වය එදාට වඩා හොඳ යැයි කියන්න පුලුවන් යම් කිසි මානසික විකෘතියකින් පෙලෙන කෙනෙකුට විතරයි. ලොකු තර්ක සහ නොදන්න දේ බොහොමයක් මැද රටෙ බුද්ධිමතුන් හෝ අමු හරක් සිරිසේන නම් වූ විකට නිවටයා රජ කරවා ඇත.තව වැඩි කල් නොගොස්ම සමස්ත ජනතාවටම යහපාලනයේ රඟ දැනෙයි.(බොර තෙල් බැරලයේ මිළ කියන දේ යහපාලනයට ගොඩක් වාසි සහගතයි තවම ) ඉඟුරු දී මිරිස් ගැනීම එදත් අදත් කළා.අහෝ අපේ රට

    ReplyDelete
    Replies
    1. පණුවා සැම විටම සිතන්නේ මෙලොව ඇති එකම සුරපුරය කුණු වී දුගඳ හමන අඹ ගෙඩිය බවයි. මෙය කාගෙවත් වරද නොව පණුවාගේ ස්වභාවයයි.

      දෙවනුවට ගත්ත අඹය කුණුවෙමින් පවතී නම් එයත් විසි කලයුතුය. එසේ නොමැතිව, දෙවන අඹය නරක වූ පමණින්, කුණුවී පණුවෝ ගසා විසිකළ පළමු අඹ ගෙඩිය නැවතත් හොඳයි කියා රසකර කෑම මනුෂ්‍යයන්ට සුදුසු නොවේ.

      අද ඇත්තේ කිසිවෙක් බලාපොරොත්තු වූ ඒ සුබවාදී රජය නොවේ. එය ඒ අයුරින් දැකීමම එදාට වඩා අද අප ඉදිරියෙන් සිටිනවා යයි කීමට සාධකයකි.

      එදා රජයේ අවශ්‍යතාවයන් ඉටු නොකළ විනිශ්චයකාරවරුන් (අග විනිසුරුගේ සිට) නොයෙකුත් තාඩන පීඩන මධ්‍යයේ ගෙදර යැව්වේය. මෙයින් මුළු නීති පද්ධතියම කඩාගෙන වැටුනේය. රාජපක්ෂගේ කොල්ලාගේ සිට බල්ලා දක්වා හැම එකෙක්ම නීතිය අතට ගත්තේය. ඔවුන් කල අකටයුතුකම් ලිස්ට් එක ලියන්න බ්ලොග් එකක් මදිය. අද ඊට වඩා බෙහෙවින් හොඳය. එහෙත් තව යායුතු දුර බොහෝය.

      එදා චන්දය පැරදී දින දෙකෙන් රටේ ලක්ෂ 40ක් චන්ද ලබාගත් හිටපු හමුදාපතිවරයාව බල්ලෙකු මෙන් සිරගෙට ඇදගෙන ගියේය. ඔහුට විරුද්ධව චෝදනා පවා සකස් කරන්න වුයේ ඔහුව සිරගෙට දැමු පසුවයි. නමුත් අද පැහැදිලිවම පෙනෙන චෝදනා හමුවේ පවා රාජපක්ෂ එලියේය. මෙය අපගේ පැත්තෙන් නම් ඉතා නරක තත්වයකි.

      මතක තබා ගන්න, රාජපක්ෂ පැරදවීමට චන්දය දුන් වැඩිහරියක් ජනතාව අද ඉන්නේ ඉතා තදබල කලකිරීමකිනි. ඒ එකැස් කනෙකුටත් පැහැදිලිවම පෙනෙන දුෂණ භීෂණ හොර මැර තක්කඩිකම් කල රාජපක්ෂ නඩය සුවෙන් කල් ගෙවද්දී රජය අඳ ගොළු බිහිරන් සේ බලා සිටින නිසාය.

      Delete
    2. ඔබට වෙනසක් දකින්න වුවමනාම නම්,

      රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ පරිවාරක පිරිසගේ ප්‍රමාණය හා සංයුතියත්, එහිදී චීන රජය මෙම පිරිසට ලබාදුන් ප්‍රණාමයත්, එහිදී අත්සන් කෙරුණු ගිවිසුම්වල සංයුතියත්;

      මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයට අදාළ මෙම කරුණුත් සසඳා බලන්න.

      කලින් පිලිතුරේද සඳහන් පරිදි මේ රජයේ ක්‍රියාකලාපයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ විෂමතා විශාල ප්‍රමාණයක් ඇත. එහෙත් ඒවා නිර්දය ලෙස විවේචනය කරන්නටත් වැරදි නිවැරදි නොවේ නම් රොත්ත පිටින් ගෙදර යවන්නත් ජනතාව පසුබට නොවිය යුතුය. කලින් රජයට ගෙදර යන්න වුයේ ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට ජනතාවට ඉඩක් නුදුන් බැවින් බව මතක තබා යුතුය.

      තවත් කරුණක් කිවයුතුව ඇත. ජනතාව මැතිවරණයේදී කිසිඳු පක්ෂයකට පැහැදිළි ජයග්‍රහණයක් නොදීමෙන් පාර්ලිමේන්තුව අතරමන් කර ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පාලනය පවත්වාගෙන යාමට හැම හොර තක්කඩියාටම හිස නැමීමට සිදු වීමයි. මෙය ඊළඟ මැතිවරණයේදී වත් ජනතාව තේරුම් ගත යුතුය.

      අපේ රටේ සිටින්නේද බහුභූත ජනතාවකි. හොරුන් සියගණනක් සමග මහත්වරුන් දෙදෙනෙක් ඇතුළට යවා "කෝ තමුසෙලා හොර අල්ලුවාද කියමින් කෑගසති". හැමෝටම තියෙන ප්‍රශ්ණය ජවිපෙ කිහිප දෙනා තමන් බලාපොරොත්තු වෙන ආකාරයට දෙපැත්තේම හොරුන් විනාඩියට සියය බැගින් නොඇල්ලිමයි. රටකට ගිය කල නම් ඔන්න ඕකයි

      Delete
    3. If you are brave enough read the following article. Quite an uncharacteristic article in a usually ultra UNP-biased website

      http://lankaenews.com/news/3800/si

      Delete
  5. If you are brave enough read the following article. Quite an uncharacteristic article in a usually ultra UNP-biased website

    http://lankaenews.com/news/3800/si

    ReplyDelete
  6. මම මේ ලිපිය දැක්කෙ අද. මම දැක කතාබහ කර ඇසුරු කර නැතත් ආචාර්ය චන්දිම ගෝමස් මහතා පිලිබඳව මා තුළ ඇත්තේ ගෞරවයක්. එතුමා පළකරන විද්‍යාත්මක ලිපි මම කියවන්නෙ ඉතා ගෞරවයකින් සහ විශ්වාසයකින්.

    එසේ වුවත් මේ ලිපිය කියෙවුවම මට තේරුනේ එතුමගෙ දේශපාලන දැක්ම කෙතරම් පටුද, ලද බොළඳද කියල.

    මම ඔබ තුමන්ට ආරාධනා කරනව මේ ලිපියෙ එක් එක් අනු මාතෘකා යටතෙ යලි පසු විපරමක් කර අලුත් ලිපියක් පළ කරන්න කියල.

    එතුමගෙ ලිපියෙ විශාල ඉඩක් වැය කරල තියෙන්නෙ විධායක ජනාධිපති තනතුර අහෙඔසි කල යුතුය කියන එක ඒත්තු ගන්වන්න. එතුම ගේන තර්කය තමයි විධායක ජනාධිපති ධුර්‍රය නිසා හොරකම වැඩි වෙලා කියන එක සහ යුද්ධය නිම කරන්න විධායක ජනාධිපති ධුරය අත්‍යාවශ්‍ය දෙයක් නොවේය කියන කාරනය. නමුත් එතුමට දැන්වත් තේරෙනවද දන්නෙ නෑ හොරකම් කරන්න විධායක ජනාධිපති ධුරය අත්‍යවශ්‍ය දෙයක් නොවේය කියන එක. රනිල් මහ බැංකුව හොරා කාල ඔය යස අගේට ඉන්නෙ විධායක ජනාධිපති වෙලා නෙමෙයිනෙ. බොහෝ කරුනු ලිවිය හැකි වුනත් ඒ කරුණ ගැන දැනට එපමනක් පමනක් ලියන්නම්.

    දෙවනි කරුන තමයි සංවර්ධනය නාමයෙන් කරන්නෙ හොරකම් කිරීමයි, ඒ නිසා සංවර්ධනය වැදක් නෑ කියන එක. එතුම එක තැනක කියනව නොරොච්චෝලෙ බලාගාරෙ හදපු එක හොඳ වුනත් ඒක කැඩෙන්න හදපු එකක් නිසා වැඩක් නෑ කියන එක. නමුත් අද රටෙන් බාගෙකට විදුලිය දෙන්නෙ ඒකෙන්. ඒ වගෙම අද වන විත පැය ගණනාවක් විදුලිය විසන්ධි කරන රටක් බවට ලංකාව පත් වෙලා තියෙන්නෙ එතුමල පත් කරගත්ත රජය හිතාමතාම බලාගාර නොසාදා සිතීම නිසා.

    අනික තමයි එතුම කියන ලස්සනම කතාව තමයි "මා දකින ආකාරයට මේ රටේ ජනතාවට සැබෑ සහන ලබාදී කරදරයක් නැතුවම මැතිවරණ දිනීමට රජයට කළ යුතුව තිබුණේ ඉතා පහසු කටයුත්තකි. එනම් මිහින් ලංකා, ශ්‍රී ලන්කන්, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ආදී මෙගා ප්‍රොජෙක්ට් කිසිවක් නොකර සිටීමයි. එසේ නම් රටට ප්‍රකෝටි ගණනක ආදායමක් ලැබුනා සේය. එහෙත් වෙනස නම් එවිට දේශපාලුවාගේ සාක්කු පිරෙන්නේ නැති වීමයි." මේ කියන්නෙ සංවර්ධන ව්‍යාපෘති කරන්නෙ හොරකම් කරන්න මිසක් සැබෑ අවශ්‍යතාවකට නොවේය කියන කාරනය. ඒව නොකර සිටියනම් කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ඉතුරු වන බවයි බවසන්නෙ.

    මේ මොන තරම් අනුවණ ප්‍රකාශයක්ද කියල දැන් ජීවමාන සාක්ෂි ඇතුව කියන්න පුලුවන්. නොරොච්චෝලෙ බලාගාරෙ හදල හොරකම් කලා, ඒක කැඩෙන නිසා නදත්තු වියදම් අධිකයි, ඕක හදන්නෙ නැතුව හිතියනම් කෝටි ගණනක් ඉතුරු වෙනව කියල කවුරුහරි කියනවනම් දැන් සාම්පූර් ආදී බලාගාර නොසාදා සිටීම මගින් ඒ ආකාරයට ප්‍රකෝටි ගණනක් මුදල් ඉතිරි වෙලා තියනවද කියල. ඔවුන් බලාගාර හදන්නෙ නැතුව ඒ වෙනුවට ක්ෂණික බලශක්ති මිලදී ගැනීම් මගින් කෝටි කීයක් දිනකට අපතේ යවනවද, ඒ මුදලින් කෙතරම් ප්‍රමානයක් මේ යහපාලුවන්ගෙ සාක්කු වලට යනවද කියල මට වඩා දැනුමක් අවබෝධයක් තියන ආචාර්ය ගෝමස් මහතා ගණන් හදල අපට කියනවද? දිනපතා විදුලිය විසන්ධි කිරීමෙන් ජාතික ආර්ථිකයට වන හානිය ඩොලර් බුඉලියන කීයද ඒක නොරොච්චෝලෙට වැය වූ මුදල වගෙ දහ ගුණයක් හොරකම් කරල තිබුනත් ඒ මුදල සමඟ සසඳන්න පුලුවන්ද කියල පොඩ්ඩක් හොයල බලනවද?

    රටට ගිණි කූරක තරම් දෙයක් හෝ ලබා නොදී කිසිඳු සංවර්ධනයක් (මෙතුම කියන විදිහට බොරු සංවර්ධනයක් හෝ ) නොකර බිලියන ගණනින් මහජන මුදල් හොරා කන්නෙ කොහොමද කියල මහබැංකු හොරකමෙන් ගෝමස් මහත්මය ඉගෙන ගන්න ඇති කියල හිතනව. 2015 ජනවාරි 8 වෙනසින් වුනේ උගතුන් විසින් තමනුත් රැවටිලා අනෙක් සාමාන්‍ය ජනතාවත් රවට්ටන්න කියපු මෙවන් දුර්මත දුර්මත බව ඔප්පු වීම පමනයි. නමුත් ඒ අවබෝධය ලබන්න ජාතිය ගෙවූ වන්දියනම් ගණනය කරන්න තව පරම්පරා ගණනකට බැරිව් වෙයි.

    අධිකරනය ස්වාධීනයි කියලද කියන්නෙ. දැන් එතනෝල් ගෙන්නන එක අඩු වෙලාද නැත්නම් ඒ ගැන අනුර කුමාර පාර්ලිමේන්තුවෙ කෑ ගහන එක නතර වෙලාද?

    මේ විදිහට මේ ලිපියෙ වාක්‍යයෙන් වාක්‍යය ප්‍රශ්න කල හැකියි. ඒ ප්‍රශ්න කිරීම් වලින් ගැල වෙන්න අන්තිම කොටසෙ කියල තියන "සිරිසේන දිනුවොත් රට සැබෑ සංවර්ධනයකට යනු හෝ නොයනු ඇත, සිරිසේන දිනුවොත් රටේ භිෂණය නවතිනු හෝ නොනවතිනු ඇත" වගේ ලිස්සල යන වචන පමනක් ප්‍රමානවත්ද? අනුර කුමාරත් කිවුවෙ "සිරිසේනගෙ කඩේ බඩු ශුවර් නෑ කියලනෙ" ඒක දේශපාලන ප්‍රකාශයක්ද? වසර 70ක් දේශපාලනය කරන පක්ෂයක නායකයට රටේ යම් ප්‍රමුඛ දේශපාලන ප්‍රවාහයක හැසිරීම පුරෝකථනය කල නොහැකිනම් ඔහු දේශපාලකයෙක්ද? රටේ ඉදිරි ගමන ගැන අපට මග පෙන්වන්නට එන්නෙ එවන් තකතීරුවන්ද? එපරිදිම ජේ ආර් ජයවර්ධන සමයේ කුඩා කොල්ලෙකු වූ ඔබතුමා (ලිපියේ පවසන පරිදි ) ඊට දශක ගණනාවකට පසු ආචාර්ය උපාදි ලබා දේසපාලනය ගැන ජනතාවට උපදෙස් දෙන්නට ලිපි පලකරන්නේ තමන් චන්දය දෙන්නැයි පවසන පුද්ගලයා සහ ඒ පිටුපස සිටි බලවේගය ගැන කිසියම්ම හෝ පුරෝකතනයක් කල නොහැකි තත්ත්වයක සිතද? ලිපියේ අවසන් වාක්‍ය කිහිපයෙන් පෙනෙන්නේ ඔබ තවමත් ජේ ආර් ගේඉ සමයෙ සිටි බුද්ධිය මුහුකුරා නොගිය කොලු ගැටයාම බව නොවේද?

    මෙම ලිපිය පිලිබඳව ඔබතුමන්ගෙන් පසු විපරමක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  7. 2021අගෝස්තු27වන අද දින මෙම ලිපිය නැවතත් කියවන ලදී. මහින්දගෙන් සිරිසේනට, සිරිසේනගෙන් ගෝටට පැමිණ ලංකා ඉතිහාසයේ බලවත්ම විධායක ජනපති දැන් බලයේ සිටී. ලංකාව ණය අර්බුදයක පමණක් නොව, විදෙස් සංචිත නොමැතිව අන්ත අසරණ තත්වයකට පත්ව සිටී. රාජපක්ෂ පවුල රජයේ සියලුම නිලතල දරයි. මගේ එකම බලාපොරොත්තුව නැවතත් වසර කිහිපයකින් මෙම ලිපිය කියවීමට ලැබුනොත් මේ ඉන්න වලෙන් ගොඩට ඇවිත් සිටීමයි. නමුත් එය සිහිනයක් පමනයිද? කාලය විසින් උත්තර දේවි.

    ReplyDelete